කෝටි 11ක රත්තරන් ජෙල් රේගුවේ දී මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් 16 ක් ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද අලුයව අත්අඩංගුවට ගනු ලැබීය.  

සැකකරු  කොළඹ - 02 කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ඔහු පැමිණි ගුවන් යානය වෙත පිවිසි කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා සහ ඔහුගේ ගමන් මල්ල අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 423 යි මිලි ග්‍රෑම් 9 ක් බරැති මෙම රත්තරන් ජෙල් තොගය කරල් 16 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

මේ වනවිට මෙම රත්තරන් ජෙල් තොගය රජයේ රස පරීක්ෂක වෙත විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සදහා යොමු කර ඇති අතර , ඔහුගේ ජංගම දුරකථනයට සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ .